yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

wruqKq

Objectives

අප රටේ පාලනය බාරදීමට කිසිවෙකු විශ්වාස කළ නොහැකි බව අපි වසර ගණනාවක ලැබූ අත්දැකීමෙන් දනිමු. එමෙන්ම, ඒ ලැබූ කටුක අත්දැකීම්වලින් අමතක නොවන පාඩම්ද උගෙන ඇත්තෙමු. එය නැවත නොවීමට නම් මින් පෙර මෙන් ප‍්‍රචාරණයට, මතුපිට පෙනුමට, කතා විලාශයට නොරැවටී, හැකිතාක් තාර්කික බුද්ධියෙන් විමසිල්ලෙන් නායකයින් තෝරාගත යුතුව ඇත.

එමෙන්ම, මෙවන් ආර්ථික අර්බුධයක් ඇති රටක් ගොඩනැගීමට නම්, සාමාන්‍ය දේශපාලන දැනුම හා හැකියාවට වඩා ඉතා ඉහළ විභවයක් ඇති, අති දක්ෂ කණ්ඩායමක් මෙවර නායකත්වයට තෝරාගත යුතුව ඇත.

නමුත් එසේ තෝරන්නට තරම් අපට නායකයින් සිටිත්ද??

මේ එම ගැටළුව විසඳීමට අප දරණ ප‍්‍රයත්නයයි. මෙය කිසිදු පක්ෂයකට එරෙහිව, කාගේ හෝ කොන්ත‍්‍රාත්තුවක් ලෙස, කරන වැඩපිළිවෙලක් නොවේ. මෙය, පක්ෂ පාට භේදයකින් තොරව, ඕනෑම දේශපාලන මතයක් දරන, රටට බොහෝ ආදරය කරන, රටේ ශීඝ‍්‍ර දියුණුවක් ඇතිකිරීමට අවශ්‍ය දැක්ම දැනුම ශක්තිය ඇති, රට වෙනුවෙන් දැඩි කැපවීමෙන් නායකත්වය දැරීමට කැමති, රටපුරා විසිරී සැඟවී සිටින අති දක්ෂයින් සොයා එකම වේදිකාවකට රැස්කිරීමට කරන උත්සාහයකි.

එය සිදුවන්නේ කෙසේද?

මෙම වෙබ් අඩවිය හොඳින් කියවා, මෙහි සඳහන් නිර්ණායකයන්ට හැකිතාක් සැසඳෙන සුවිශේෂ දක්ෂයින්, ඔබ දන්නා සමාජය තුළින් සොයන්න. සමහර විට ඒ ඔබ විය හැකියි. නැතහොත් ඔබ දන්නා කෙනෙකු විය හැකියි. ඒ අනුව ඔබේ හෝ එම තැනැත්තාගේ සුදුසුකම් සඳහන් කර නාම යෝජනාව පුරවා, මෙම වෙබ් අඩවියට ඇතුලත් කරන්න.

නායකත්වයට සුදුසු කෙනෙක් හඳුනාගන්නේ කොහොමද?

නායකයින් තේරීමේදී ඉතිහාසයේදී අපට වැරදුණු තැන් බොහෝය. ඒවා නැවත නොවීමට නම්, මින්පසු හැකිතාක් විමසිල්ලෙන් බුද්ධියෙන් නායකයින් සොයාගත යුතුව ඇත. එමෙන්ම, අප වැනි බංකොලොත්භාවයට පත්වූ රටක් ඉක්මන් දියුණුවක් කරා ගෙනයෑමට නම්, නායකයින්ට සාමාන්‍ය දේශපාලන දැනුම ඉක්මවා තවත් බොහෝ සුදුසුකම් රැසක් තිබිය යුතු වේ. ඒ අනුව නායකත්වයට යෝජනා කළහැකි කෙනෙක් අප අවටින් සොයද්දී අවධානය යොමුකළ යුතු ප‍්‍රධාන කරුණු කිහිපයකි.

1- අධ්‍යාපන සුදුසුකම් අත්‍යවශ්‍යද?

සාර්ථකත්වයට අධ්‍යාපනය අත්‍යවශ්‍ය නොවන නමුත්, රට වෙනුවෙන් පෙරට එන දක්ෂයෙකුට නිසි අධ්‍යාපනයක් තිබීමෙන් අප රටට ශක්තිමත් ඉහළ ආර්ථිකයකට යෑමට වඩාත් ඵලදායී දායකත්වයක් දියහැකි වේ. එමෙන්ම ආර්ථිකවිද්‍යා, බලශක්ති, තොරතුරු තාක්ෂණ, කෘෂිකර්ම, කළමනාකරණ, සංචාරක, සමාජ සුබසාධන… ආදී විවිධ අංශවල දැනුම මේ අවස්ථාවේ රටට ඉතා වැදගත් වනු ඇත. මෙහි අධ්‍යාපනය ලෙස සඳහන්ව ඇත්තේ සහතික හෝ දේශන හැකියාව නොවන අතර, එම අදාල අංශවලින් අදාල ඉලක්ක කරා යාමට අවශ්‍ය ප‍්‍රායෝගික හැකියාවද ඇත්දැයි විමසා බැලීම අතිශයින්ම වැදගත් වේ.

2 - දේශපාලන අත්දැකීම් අඩුවීම නුසුදුසුකමක්ද?

නායකයින් තේරීමේදී දේශපාලන අත්දැකීම් තිබීම ඉතා ප‍්‍රයෝජනවත් නමුත්, එය වැඩිපුර තිබීමද, ජනමනස ගැන වැඩිපුර දැනීමද, ජනතාව රැවටීමට භාවිතා කළහැකි බව සිහිපත් කරගත යුතුය. එමෙන්ම දේශපාලන අත්දැකීම් පමණක් තිබීමෙන් රටට අයහපතක් මිස කිසිදු යහපතක් වී නැති බවද, ඉතිහාසය සාක්ෂි දරයි. එම නිසා දේශපාලන දැනුම අවභාවිතා නොකරන කෙනෙකු අප තෝරාගත යුතුය.

3- අවංකභාවය මණින්නේ කෙසේද?

අවංකභාවය අතිශයින් වැදගත් නමුත්, එය මැනීමට කිසිදු මිණුම් දණ්ඩක් නොමැත. එම නිසා අව්‍යාජ බව, ප‍්‍රචාරණය උදෙසා පමණක් වැඩ නොකිරීම, මෙතෙක් එක් වරක් හෝ අප රවටා නොතිබීම, පූර්ව කල්කි‍්‍රයාවේ වැරදි හෝ චෝදනා නොතිබීම දැනට ප‍්‍රමාණවත් වන අතර, වංචා කිරීමට අපහසු වන සේ නීතිමය හා තාක්ෂණික ක‍්‍රමවේදයන් සැකසීමෙන්, තාක්ශණිකව විනිවිදහාවය ඇතිකිරීමෙන්, වංචා කළහැකි අවස්ථා අවම කළහැකි වනු ඇත.

4- කථික හැකියාව අත්‍යවශ්‍යද?

දක්ෂ කථිකත්වයක් තිබීම වඩාත් ප‍්‍රයෝජනවත් නමුත්, එය පමණක් තිබීම ප‍්‍රමාණවත් නැත. සමහර විට අප ඉතා ආකර්ශණීය කථකයින් තෝරා පත්කර රටට කිසිදු සේවයක් සිදු නොවුණු අවස්ථාද අප දැක ඇත. එම නිසා දක්ශ කථිකත්වය එක් සුදුසුකමක් පමණක් ලෙස සලකන්න.

5- චරිත ස්වභාවය වැදගත්ද?

රටක දේශපාලනය, චරිත මතම නොරඳන නමුත්, නායකයින්ගේ විවිධ අහිතකර චරිත ස්වභාවයන් රටට ඉතා අයහපත් ලෙස බලපා ඇති බව ඉතිහාසයෙන් දැකගත හැක. එමනිසා නාස්තිකාරී බව, වංචනික ආශි‍්‍රතයින්, පෙර චෝදනා, ප‍්‍රඥාවන්ත නොවීම, කාර්ය්‍යශූර නොවීම, ක්ෂණික කෝපය, දුරදිග නොසිතා කතා කිරීම, පවුල්වාදී බව, කණ්ඩායම් ආකල්ප නොමැතිවීම, මානුෂවාදී නොවීම, ආත්මාර්තකාමී බව, මුරණ්ඩුකම, නොහික්මුණු බව, සවන් නොදීම, තිරයෙන් පිටුපස වෙනස් චරිතයක් වීම, ආදී කරුණු අනාගතයේදී රටට අයහපත් ලෙස බලපානු ඇත.

6- පරිණත භාවය අවශ්‍යද?

පරිණතවීම යනු වයසින් මුහුකුරා යාම නොවේ. එම නිසා වයස කුමක් වුවද සාමූහිකව ඉවසිලිවන්තව කටයුතු කළහැකි වීම, ගැටුම් අවම වනලෙස නිශ්චිත පොදු ඉලක්කයන් කරා කණ්ඩායමක් ගෙනයෑමට හැකිවීම, එයින් රටේ ආර්ථිකයට හා බහුතර ජනතාවට යහපත සුබසාධනය සැලසිය හැකිවන සේ කටයුතු කිරීමේ හැකියාව, දැනට ප‍්‍රමානවත් වේ.

7- ප‍්‍රසිද්ධ චරිත විය යුතුද?

ප‍්‍රසිද්ධ කෙනෙකු වීම චන්ද ලබාගැනීමට ප‍්‍රයෝජනවත් වුවද, අපේ අරමුණ වන්නේ රටට විශාල සේවයක් කළහැකි අය තෝරා පත්කරගැනීමයි. ප‍්‍රසිද්ධිය පමණක් පදනම්ව චන්දය දී රටට කිසිදු යහපතක් නොවූ අවස්ථාද ඇත. එම නිසා ඉහත සඳහන් අයුරින් අධ්‍යාපනය, හැකියාවන්, චරිත ලක්ෂණ, කැපවීම, අව්‍යාජ බව, ඇත්නම් මෙහි යෝජනා කරන්න. ඔවුන්ට අවශ්‍ය ප‍්‍රසිද්ධිය ඉදිරියේදී ලබා දෙනු ඇත. 

මීට අමතරව තවත් බැලිය යුතු කාරණා බොහෝ ඇති නමුත් එසේ සියල්ලෙන් අංග සම්පූර්ණ වුණු අය සොයාගත නොහැකි නිසා, මෙම කරුණු වලින් හැකිතාක් සම්පූර්ණ වන අය යෝජනා කරන්න…

ඒ අනුව ඔබ දන්නා සමාජය තුළ, විවිධ ක්ෂේත‍්‍රවල නිපුණත්වය ලබා ඇති, ක්‍රියාවෙන් විශිෂ්ට ප‍්‍රතිඵල පෙන්වා ඇති, අය සොයා මෙම නායකයින් තේරීමේ වැඩපිළිවෙලට නාම යෝජනා කරන්න. ඉන්පසු එම නම් හා විස්තර ජනතාව වෙත ඉදිරිපත් කරන අතර, එයින් වැඩිම කැමැත්ත ගන්නා අය (දැනට පවතින ව්‍යාවස්ථාවට අනුව 225ක්) ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් කළහැක.

මෙම උත්සාහය අංගසම්පූර්ණ යැයි නොකියමු. තර්ක කිරීමට බොහෝ කාරණාද තිබිය හැක. නමුත් අපට පරිපූර්ණ නායකයින් අහසින් නොවැටෙන නිසා, අඳුරට සාප නොකරමින් එක් දක්ෂයෙකු හෝ පාර්ලිමේන්තුවට යවන්නට දැන් සිටම උත්සාහ කරමු. ඔබ අවට සමාජය තුළ විවිධ ක්ෂේත‍්‍රවල නිපුණත්වය ලබා ඇති, ඉහත ආකාරයේ සුදුස්සන් අදම සොයන්න.

අපට විස්තර සහිතව යෝජනා කරන්න.